Friday, June 1, 2018

Tomb Rider (2018) - රණශූරියකගේ ආගමනය

පුරාවෘත වල සඳහන් වෙන ආකාරයට හිමිකො කියන පළවෙනි ජපන් රැජිණිය, අඳුරු මායාවන්ගේ ආනුභාවයෙන් තමන්ගේ අධිරාජ්‍යය පාලනය කරපු බලවත් මන්ත්‍රකාරියක්. මිනිසුන් වශී කරගෙන හිත පාලනය කිරීම සඳහා පවා ඇයට හැකියාව තිබිලා තියෙනවා. ඇයගේ අතේ පොඩි ස්පර්ශයකින් මරණය සහ ව්‍යසනය පතුරුවා හරින්න හැකියාව ඇයට තිබිලා තියෙනවා. මේ හිමිකො රැජිණට මිනිස්සු කියන්නේ මරණයේ මාතාව කියලා. ඇයගේ හැම කතාවක්ම අවසන් වෙලා තියෙන්නේ රුධිර ගංගා ගලා යෑමෙන්. අවසානයේ, ඇයගේ මේ රුධිර වැගිරීම් ඉවරයක් වුනේ ඇයගේම ජෙනරාල්වරු විසින් ඇයව අරගෙන ගිහිල්ලා වළ දාලා තියෙනවා, අනතුරුදායක, යක්ෂයගේ මුහුදේ මැද්දට වෙන්න තියෙන, මනුෂ්‍ය වාසයක් නැති යැමටායි කියන දූපතේ. මේ දූපතේ එක්තරා ස්ථානයක පිහිටි කඳුකරයක පතුළට වෙන්න තමයි ඇයගේ නෂ්ටාවශේෂ වළලලා දාලා තියෙන්නෙ.

නමුත්, අතිශය ඉපැරණි, රහසිගත සිතියමකට අනුව මෙම හිමිකො රැජිණ, සිය ශාපය ඉවත්කර ඇයව නිදහස් කරන තෙක් බලාසිටින බවට තිබූ සටහනක් නිසා, එක්තරා පුද්ගලයෙක් මෙම අබිරහස් දූපත සොයා වසර ගණනාවකට පෙර පිටත්ව යනවා. මෙයට මූලික හේතුව වන්නේ, අද්භූත බලයන්ගේ පාලනය ලබාගෙන, එමගින් මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම තීරණය කිරීමට සූදානමින් සිටිනා “ත්‍රිත්වය” නම් පැරණි හමුදා සංවිධානයක් විසින් මෙම හිමිකො රැජිණගේ සොහොන් ගැබ විවර කර එහි අඩංගු බලයන්ගෙන් ලොව පාලනය කිරීමට සූදානම් වීමයි. කෙසේ නමුත්, මෙම බිහිසුණු සොහොන් ගැබ විවර කිරීම එතරම් ලෙහෙසි පහසු කර්තව්‍යයක් වෙන්නේ නම් නැහැ. මුලින්ම සිද්ධවෙනවා, ප්‍රචණ්ඩ සැඩ පහරවල් වලින් සහ මාරාන්තික ගල් පර වලින් ආරක්ෂා වෙලා තියෙන යැමටායි දූපතට පැමිණෙන්න. කුමන ආකාරයකින් හෝ එම යැමටායි දූපතට පැමිණියත්, ඔවුන්ට සිදුවෙනවා සොහොන් කොත තිබෙන්න කුමන ස්ථානයකද කියා නිශ්චිතවම දැනගැනීමට. එම අසීරු කර්තව්‍යයත් කුමන ආකාරයකින් හෝ ජයගතහොත්, ඔවුනට සිදුවෙනවා හිමිකොගේ බරපතල පරීක්ෂණ වලට මූණ දෙන්න.
  • පළමු අභියෝගය – ආත්මයන්ගේ විවරය පහුකර යෑම
  • දෙවන අභියෝගය – දිවිගලවා ගැනීම සඳහා හිමිකොගේ මුහුණත් වලට යාඥා කිරීම
  • තෙවන අභියෝගය – හිමිකොගේ මෙහෙකාරියන් දහසකගේ හමුදාව පසුකර යෑම
  • සිව්වන අභියෝගය – සොහොන් ගැඹ වෙත ගොස් හිමිකොගේ ශාපය මුදාහැරීම
මෙම අභියෝගයන් හට මුහුණදී, ඒවා ජයගෙන, ත්‍රිත්වය නම් සංවිධානයට ලොව විනාශ කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඉඩ නොදීම සඳහා මෙම දූපත බලා ගමන් කල ඉහත කී පුද්ගයලා වසර හතක කාලයක් ගත වූ පසුවත් නැවත සිය ගම රට බලා පැමිණියේ නැහැ. නමුත්, නොසිතූ පරිදි ලද හෝඩුවාවන් කීපයක් ඔස්සේ, වසර හතකට පසුව ඉහත කී පුද්ගලයාගේ දියණිය සිය පියාගේ අඩි සටහන් ඔස්සේ ඔහුව සොයා යනවා. තරුණ ගැහැණු ළමයෙකු හට මෙතරම් මාරාන්තික, බිහිසුණු අභියෝගයන් හට මුහුණදී දිවි ගලවා ගැනීමට හැකියාව ලැබේවිද? මාරාන්තික ත්‍රිත්වයේ ග්‍රහණයෙන් ඇය ලෝකය මුදවා ගන්නේ කෙසේද? වසර හතකට පෙර අතුරුදහන් වූ සිය ආදරණීය පියා සොයාගැනීමට ඇයට හැකියාව ලැබේවිද?
#ArunA













No comments: